ආරක්‍ෂක ලේකම් සමඟ නාවික හමුදාධිපති සඳහිරු සෑය සහ මිහිඳු මහා සෑය ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න සමඟ අනුරාධපුරය සඳහිරු සෑයේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කිරීම සඳහා සහ මිහින්තලය මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා 2021 මාර්තු 06 වන දින සහභාගී විය.

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ මූලිකත්වයෙන් අනුරාධපුරය පූජා භූමියේ ඉදිවන සඳහිරු සෑයේ ඉදිකිරීම් ප්‍රගතිය සමාලෝචනය කළ ආරක්‍ෂක ලේකම්තුමා එහි සියළු ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි. මෙහිදී සඳහිරු සෑයේ හතරැස් කොටුවේ ඉදිකිරීමි සඳහා ගල් තැන්පත් කිරීම සඳහා සහ වාහල්කඩ ඉදිකිරීම සඳහා නිධන් වස්තු තැන්පත් කිරීමද ආරක්‍ෂක ලේකම්තුමා සහ නාවික හමුදාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

තවද, අනුරාධපුරය ඓතිහාසික මිහින්තලය රජමහා විහාර පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 24 වන දින ආරම්භ කරන ලද අතර, එහිදී මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතිගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදාව වෙත පවරන ලදි. මෙය සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්තුමා නාවික හමුදාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, මිහින්තලය පුදබිමේ සිදු කෙරෙන අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු ද මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන්ගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාධිපතිතුමා ඇතුලු පිරිස විසින් නිරීක්‍ෂණය කරන ලදි.

මෙම නිරීක්‍ෂණ චාරිකාවාරය සඳහා සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති ඇතුලු ජ්‍යේෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක බලකා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.