නාවික හෙඳ විදුහලේ පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 44 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2019 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 44 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (2021 පෙබරවාරි 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී නාවික හමුදා හෙද සිසුන් 39 ක් සහ ගුවන් හමුදා හෙද සිසුන් 05 ක් වෙත හිස් වැසුම් පැළඳවීම සහ තුන්සිළු පහන් ප්‍රධානය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා (හෙද අධ්‍යාපන) අශෝකා අබේනායක, අධ්‍යක්‍ෂිකා (හෙද වෛද්‍ය සේවා) එම්බීසී සමන්මලී, අධ්‍යක්‍ෂිකා (හෙද සහ මහජන සෞඛ්‍ය) ආර්එල්එස් රාජපක්‍ෂ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය පීඨයන්හි ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරුන්, ජ්‍යේෂ්ඨ හෙද ආචාර්යවරුන් සහ උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරීන් විසින් සිදු කෙරිණි.

තවද, මෙහිදි පළමු අර්ධ වාර්ෂික පරීක්‍ෂණ විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් හෙද සිසුන් හට විෂය ප්‍රවිණතා පදක්කම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සිදු කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය ආර්එම්එස්කේ රත්නායක, නාවික හමුදා නියෝඡ්‍ය මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සහ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය කොමදෝරු පීජේබී මාරඹේ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.