නාවික හමුදාව විසින් නෞකා සඳහා ප්‍රථම වරට මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ

නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් ප්‍රථම වරට නෞකා වෙනුවෙන් නිෂ්පාදනය කර ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව තුළ ස්ථාපිත කරන ලද මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය (Sea water Reverse Osmosis Plant) අද (2021 පෙබරවාරි 24) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් විවෘත කෙරිණි.

මෙරට සාගර කළාපය තුළ නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබන මුහුදු ජල පිරිපහදු යන්ත්‍ර පහසුකම් නොමැති නෞකාවන් සඳහා අවශ්‍ය පිරිසිදු ජල අවශ්‍යතාවය සපුරා ගනිමින් නෞකාවන්ගේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වර්ධනය කිරීම සඳහා නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නාවික හමුදා ශිල්පීය හා තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින් ප්‍රථම වරට මෙම මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය නිෂ්පාදනය කරන ලද අතර, එමගින් දිනකට මුහුදු ජලය ලීටර් 10000 ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, මෙම මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් අද දින ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාවේදී මෙලෙස විවෘත කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයයේ නියෝජ්‍ය ආඥාපති, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.