යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමජිකයින් වෙනුවෙන් ‘මිහිදු සෙත් මැදුරෙහි’ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ.

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ‘මිහිදු සෙත් මැදුර’ සුව නිකේතනයෙහි නේවාසික යුද්ධ හමුදා අබාධිත සාමාජිකයින් සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චිත්‍රානි ගුණරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 21 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවයෙහි නියුක්තව සිට ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දීමේදී, අබාධිත වූ වීරෝධාර රණවිරුවන් දිවි ඇති තෙක් රැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ ‘මිහිදු සෙත් මැදුර’ සුව නිකේතනය පවත්වාගෙන යනු ලබයි. එහි නේවාසිව රැඳී සිටින ආබාධිත වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය, රණවිරුවන්ගේ රසාස්වාදය සඳහා සංගීත සහ නර්තන අංගයන්ගෙන් ද වර්ණවත් විය. මෙහිදී එම අබාධිත රණවිරුවන් සඳහා ත්‍යාග ලබා දීමක් සිදු කළ අතර, ඒ සඳහා ද නාවික හමුදාධිපතිතුමන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය එක් විය.

තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානය කර තිබූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හා එම මැතිණියන් සහ යුද්ධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.