දීඝවාපී චෛත්‍ය ප්‍රථිසංස්කරණ කටයුතු සදහා නාවික හමුදාව මගින් රුපියල් මිලියන 05 ක පරිත්‍යාගයක්

දීඝවාපී චෛත්‍යයේ ප්‍රථිසංස්කරණ කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය අද (2021 පෙබරවාරි 12) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සම්බෝධී විහාරස්ථානයේදී පැවැත්වුනු අතර, එහිදී දීඝවාපී චෛත්‍යයරාජයානන් ප්‍රතිසංස්කරණය කර සංරක්‍ෂණය කිරීම වෙනුවෙන් නාවික හමුදාව මගින් පරිත්‍යාග කෙරෙන රුපියල් මිලියන පහක් (05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත ලබාදෙන ලදි.

දීඝවාපී චෛත්‍ය ප්‍රථිසංස්කරණ ව්‍යාපෘතිය 2020 නොවැම්බර් මස 11 වන දින ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර, එම ප්‍රථිසංස්කරණ කටයුතු දීඝවාපීය විහාරාධිපති මහඔය සෝභිත නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ඒ වෙනුවෙන් පත් කරන ලද නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමණාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව, නාවික හමුදා බෞද්ධ සංගම‍ය මගින් දීඝවාපී චෛත්‍යරාජයානන් ප්‍රථිසංස්කරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා දෙන ලද රුපියල් මිලියන පහක (05) මුදලට අදාල සංකේතාත්මක චෙක්පත අද (2021 පෙබරවාරි 12) නාවික හමුදාධිපතිතුමා විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත මෙලෙස භාර දීමට කටයුතු කරන ලදි.

තවද, මෙම උත්සව අවස්තාව සඳහා අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, නැගෙනහිර පළාත් “පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සභාපති, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආර්ක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාමාර්ෂල් සුදර්ශන පතිරණ සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.