‘සයුරුසර’ සඟරාවේ 42 වන කලාපය එළිදකී

‘සයුරුසර’ සඟරාවේ 42 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2021 පෙබරවාරි 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

නාවික හමුදා පුද්ගලයින්ගේ කියවීමේ හා ලිවීමේ රුචිය වර්ධනය කිරීම, නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප් නැංවීම සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන විවිධ සමාජ සත්කාරක වැඩසටහන් ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් සයුරුසර සඟරාව අර්ධ වාර්ශිකව ප්‍රකාශයට පත් කෙරේ.

මෙවර කලාපයේ හතරවන ඊලාම් යුද්ධය ජය ගැනීම සඳහා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ දායකත්වය සම්බන්ධයෙන් එවකට එම බලඝනයේ අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ විග්‍රහයන් ඇතුළු හරවත් ලිපි එකතුවක් සහ නාවික පුද්ගලගයින්ගේ විචිත්‍රවත් ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවකින් සමන්විත වේ.

‘සයුරුසර’ සඟරාවේ 42 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන අවස්ථාව සඳහා නාවික සහායක හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කොමදෝරු සුජීව සෙනෙවිරත්න, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි, මාණ්ඩලික නිලධාරි (මාධ්‍ය) හා ‘සයුරුසර’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) සාලිය සුදුසිංහ ද එක්වි සිටියහ.