කොළඹ නාවික අභ්‍යාසයේ - CONEX 2021 තුන්වන වෙළුමේ අවසන් දිනය නාවික හමුදාධිපතිගේ අධීක්‍ෂණයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තෙවන වරටත් පවත්වනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise –CONEX 21) 2021 පෙබරවාරි 10 වන දින සාර්ථකව නිමාවට පත්වූ අතර, තෙදිනක් පුරා පැවැත්වූ මෙම නාවික අභ්‍යාසයේ අවසන් දිනය වන 2021 පෙබරවාරි 10 වන දින පැවති අභ්‍යාසය අධීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

මෙම නාවික අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන් 04ක්, වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් 02ක්, බේ ක්ලාස් වර්ගයේ (Bay Class) මුර නෞකාවන් 02ක්, වේග මුර නෞකාවක් මෙන්ම 04 වන වේග ප්‍රහාරක බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 08ක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවන් 03ක් , ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17, බෙල් 412, බෙල් 212 හෙලිකොප්ටර් යානා 03 ක් සහ B - 200 King Air වර්ගයේ නිරීක්‍ෂණ ගුවන්යානයක් සහභාගී විය.

මෙම නාවික අභ්‍යාසයේදී ක්‍රියාන්විත අවස්ථාවක නෞකා මෙහෙයවීම, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හා ඉන්ධන හුවමාරු කිරීම, ගුවනින් නෞකා වෙත භාණ්ඩ හුවමාරු කිරීම, ආපදාවට පත් නෞකාවක් ඇදගෙන යාම, නෞකාවක ඇතිවූ ගිනි මැඩපැවැත්වීම, නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණනයේ නාවිකයින් ගුවනින් සහ කුඩා යාත්‍රා මගින් නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, මුහුදු මතුපිට සහ ගුවන් ඉලක්ක සදහා දිවා සහ රාත්‍රී වෙඩි අභ්‍යාස සහ නෞකා අතර පණිවිඩ හුවමාරු කිරීමේ අභ්‍යාසයන් ඇතුළු තවත් නාවික අභයාසයන් රැසක් සිදු කරන ලදි. තවද මෙම නාවික අභ්‍යාසය අධීක්‍ෂණය සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත අභ්‍යාසයට සහභාගී වූ නෞකා සහ යාත්‍රා පෙළ මගින් ආචාරය පිරිනැමීම ද (Steam Past) සිදු කරන ලද අතර, නාවික හමුදාධිපතිවරයෙක් කොළඹ නාවික අභ්‍යාසය සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සනිටුහන් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතියේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉතා කැපවීමෙන් ඉටු කරමින් සාගර කලාපයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා මෙවැනි නාවික අභ්‍යාසයන්ගෙන් ලැබෙන දැනුම සහ අත්දැකීම් මහත් පිටුවහලක් වේ. එමෙන්ම, ජාත්‍යන්තර නාවික අභ්‍යාසයකට නොදෙවෙනි අයුරින් පවත්වන ලද මෙම නාවික අභ්‍යාසය තුලින් කළාපීය සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා නාවික හමුදා නෞකාවන්ගේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමේදී දෙපාර්ශවය අතර ඉතා උසස් අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇතිවීම, ඉදිරි සාර්ථක ඒකාබද්ධ නාවික මෙහෙයුම් සදහාද මනා පිටුවහලක් වනු ඇත.

තවද, කොවිඩ් 19 අවධානම් තත්ත්වය හමුවේ වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කොළඹ නාවික අභ්‍යාසයේ (Colombo Naval Exercise –CONEX 21) සැළසුම් කල සියළු අධියරයන් නාවික දියත් විධානයේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.