කොළඹ නාවික අභ්‍යාසයේ (CONEX) තුන්වන වෙළුම දියත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තුන්වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ (Colombo Naval Exercise –CONEX 21) සමාරම්භක උත්සවය අද (2021 පෙබරවාරි 07) කොළඹ වරායේ දී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව තුල පැවැත්විණි. මෙම නාවික අභ්‍යාසය 2021 පෙබරවාරි 08 වන දින සිට 10 වන දින දක්වා කොළඹට නුදුරු මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, එම අභ්‍යාසයේ සැළසුම්ගත අධියරයන් ඉදිරි දින 03 තුලදී ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම නාවික දියත් විධානයේ මෙහෙයවීමෙන් සිදුවේ.

2019 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ කළ මෙම නාවික අභ්‍යාසය 2020 වර්ෂයේදී ද සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. ඒ අනුව තුන්වන වරට පවත්වනු ලබන මෙම කොළඹ නාවික අභ්‍යාසයෙහි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා නාවික‍ නෞකා සයුරළ නෞකාවේදී ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

වාර්ෂිකව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබන මෙම අභ්‍යාසය මගින් ඕනෑම මෙහෙයුම් අභියෝගයක් සඳහා නාවික හමුදා නෞකා සමූහයේ සූදානම් බව ඇති කිරීම සහ ජාතියේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල සුරකින නාවික හමුදා නිළධාරීන්ගේ සහ නාවිකයින්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීම අපේක්‍ෂා කෙරේ. තවද, මෙම අභ්‍යාසය නාවික හමුදා නෞකා සහ ගුවන් යානා එක්ව සිදු කරන අභ්‍යාසයන්ගෙන් සමන්විත වන අතර, එමඟින් ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර, ඉතා උසස් අන්තර් ක්‍රියාකාරීත්වයක් ස්ථාපිත කිරීමත් මෙම ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ මඟින් නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, දෘශ්‍යමාන සතුරෙකු නොමැති වුවත් ඉන්දියානු සාගර කළාපය හරහා මෙරට සාගරික කළාපයට බලපානු ලබන සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන සාගරික තර්ජනයන් ලෙස සැළකෙන මුහුදු මංකොල්ලකෑම්, සාගරික ත්‍රස්තවාදය, අවි ජාවාරම, මිනිස් ජාවාරම, නීති විරෝධී වාර්තා නොවන හා නියාමනය නොවූ ධීවර කටයුතු සහ සාගරික දූෂණය වැනි තර්ජනයන්ට පමණක් සීමා නොවී, පැන නැගෙන ඕනෑම අභියෝගයක් ඵලදායී ලෙස කළමණාකරණය කර ගැනීමට මෙවැනි අභ්‍යාසයන් තුළින් ලැබෙන දැනුම සහ අත්දැකීම් මහත් පිටුවහලක් වේ. එමෙන්ම කොළඹ පිහිටි නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC) සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කළාපය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාවට සහන සැළසීමේදී ද මෙවැනි ඒකාබද්ධ අභ්‍යාස තුළින් ලබා ගන්නා අත්දැකීම් අනාගත මෙහෙයුම් සාර්ථකත්වය සඳහා සාධනීය බලපෑමක් ඇති කරනු ලබයි.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සයුරළ, සයුර, සිඳුරළ, සමුදුර නෞකාවන්, වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන ශ්‍රීලංනානෞ සුරනිමිල සහ නන්දිමිත්‍ර නෞකාවන්, බේ ක්ලාස් වර්ගයේ (Bay Class) මුර නෞකාවන් වන ශ්‍රීලංනානෞ මිහිකත සහ රත්නදීප යන නෞකාවන්, වේග මුර නෞකාවක් වන ශ්‍රීලංනානෞ උදාර නෞකාව මෙන්ම 04 වන වේග ප්‍රහාරක බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 08ක් සහභාගී වීමට නියමිතව ඇත.

තවද, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සුරක්‍ෂා, සමුද්‍රාරක්‍ෂා සහ සමාරක්‍ෂා නෞකාවන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17, බෙල් 412, බෙල් 212 හෙලිකොප්ටර් යානා 03 ක් සහ B - 200 King Air වර්ගයේ නිරීක්‍ෂණ ගුවන්යානයක් ද මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

පවත්නා කොවිඩ් 19 අවධානම් තත්ත්වය හමුවේ වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නාවික අභ්‍යාසය පැවැත්වීමට කටුයුතු සූදානම්කර ඇති අතර, මෙම සමාරම්භක අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, 04 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී, නාවික අභ්‍යාසය සඳහා සහභාගිවන සියළුම නෞකා සහ යාත්‍රාවන්හි අණදෙන සහ අණභාර නිලධාරීන්, විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මෙහෙයුම් ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගිවී සිටියහ.