73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ගාලු මුවදොර වෙරළ තීරයේදී ප්‍රදර්ශනය කෙරේ

73 වන අභිමානවත් නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් ගාලු මුවදොර වෙරළ තීරයේදී 2021 පෙබරවාරි 04 වන දින ආරම්භ විය.

ජාතියේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ උභය තරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් මෙලෙස ගාලු මුවදොර වෙරළ තීරයේදී පැවැත්වෙන අතර, මහ සයුරෙන් සතුරු භූමිය වෙත භට පිරිස් ඇතුල් කිරීමේ විශේෂ හැකියාවක් ඇති 2016 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා මැරින් බලඝනය හා උභය තරණ මෙහෙයුම් සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති සහ රණගජ මෙන්ම එල් 821, එල් 801, එල් 802 යන ගොඩබෑමේ යාත්‍රාවන් හා ගොඩබෑමේ මෙහෙයුම සඳහා භාවිතා කරනු ලබන තවත් කුඩා යාත්‍රාවන් කිහිපයක් මේ සඳහා යොදා ගැනේ.

පෙබරවාරි 04 වන දින සිදු කරන ලද නිදර්ශන අභ්‍යාසයේදී නාවික හමුදා මැරීන් බලඝනයේ නාවිකයින් සතුරු පාර්ශවය සිටින වෙරළ තීරය වෙත රහසිගතව ඇතුළු වී උභය තරණ මෙහෙයුම සිදු කිරීම සඳහා වෙරළ තීරය ආවේක්‍ෂණය කර ආරක්‍ෂාව තහවුරු කිරීමේ අභ්‍යාසයක් සිදු කෙරිණි. මෙම අභ්‍යාසයට නාවික හමුදා මැරීන් බලඝණය සඳහා නාවික හමුදා ඉංජිනේරු තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් නිපදවන ලද අත්හදා බැලීමේ මට්ටමේ පවතින (Proto type) කුඩා රථ තුනක්ද (03) උපයෝගී කරගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, වැඩබලන අධ්‍යක්‍ෂ නාවික මැරීන් කපිතාන් සනත් පිටිගල, පළමු නාවික මැරීන් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් රවී හරිස්චන්ද්‍ර ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.

පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සීමිත නාවික පුද්ගලයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්වෙන මෙම නාවික හමුදා උභය තරණ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අභ්‍යාසයෙහි විශේෂ අවස්ථා මාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත සමීප කිරීමට කටයුතු කරනු ලබන අතර, මෙම වැඩසටහන පෙබරවාරි මස 06 සහ 07 යන දිනයන්හීදී ද ගාලු මුවදොර වෙරළ තීරයේදී පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.