අභිමානවත් 73 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.

“ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ දී, අද (2021 පෙබරවාරි 04) මධ්‍යහන 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් චමින්ද කරුණාසේන, විධායක නිලධාරී, කොමාණ්ඩර් බණ්ඩාර වාහල සහ අවි නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් කසුන් ප්‍රගීත් ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

ජාතිය වෙනුවෙන් ආචාර පුද කිරීම සඳහා වෙඩිමුර උත්තමාචාරය පැවැත්වීම ජාතික දිනයේ දී හෝ රජය විසින් නම් කරන ලද දිනයක පැවැත්වේ. වෙඩිමුරයක් පවත්වා උත්තමාචාර පුද කිරීමේදී ලබාදිය හැකි උපරිම වෙඩිමුර ප්‍රමාණය 25 ක් වන අතර එය ජාතිය වෙනුවෙන් පිරිනැමේ. ඒ අනුව අද (පෙබරවාරි 04) දින 73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ජාතිය වෙනුවෙන් පිරිනමන වෙඩි මුර උත්තමාචාරය මෙලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ දී පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කළ අතර, මෙම අවස්ථාව මහජනතාව වෙත සජීවීව දැක ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය කටයුතු කරන ලදී.

අතීතයේ යුද නෞකාවන්ගේ සවිකර තිබූ එක් වරකදී එක් උණ්ඩයක් පමණක් දැල්විය හැකි කාලතුවක්කු (Cannon) මගින් ප්‍රහාර එල්ල කළ 14 වන ශතවර්ෂයේ සිට මෙම වෙඩිමුර උත්තමාචාර චාරිත්‍රය පැවත එන අතර, ස්වකීය සාමකාමී චේතනාව ප්‍රති පාර්ශ්වයට ඇඟවීම සඳහා යුද නෞකාවේ ඇති කාලතුවක්කු උණ්ඩය දැල්වීම මගින් මෙම වෙඩිමුර උත්තමාචාර චාරිත්‍රය ආරම්භ වී ඇත.

වෙඩි මුර උත්තමාචාරය පැවැත්වෙන අවස්ථාවේ නෞකාවේ කුඹගසෙහි විශේෂ ධජ සැරසිල්ලක් සිදුකරනු ලබන අතර, ධජ මගින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් වෙඩිමුර උත්තමාචාරය “ 25 Gun Salutes for the Nation” ලෙස අර්ථ ගැන්වෙන ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ කුඹගස සැරසීම සිදු කෙරිණි.

වෙඩි මුර උත්තමාචාරය සිදු කරනු ලබන ප්‍රමාණයන් සැලකීමේදී අවම වෙඩිමුර උත්තමාචාර 07ක් ලබාදීම කපිතාන් නිලය හෝ ඊට පහළ නිලයක් සහිත නිලධාරියෙක් වෙත ඔහු නෞකාවක අණභාරව කටයුතු කිරීමේදී ප්‍රති ආචාරයක් ලෙස සිදු කරයි. මෙම අවම වෙඩිමුර උත්තමාචාරයේ සිට වෙඩිමුර උත්තමාචාර පැවැත්වෙන අනෙකුත් අවස්ථාවන් වන්නේ, කොන්සල් වරයෙකු වෙත වෙඩිමුර උත්තමාචාර 09ක්, කොන්සල් ජෙනරාල් වරයෙක් වෙත වෙඩිමුර උත්තමාචාර 11ක්, කොමදෝරු හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 11ක්, රාජ්‍ය දූතයෙක් දූත මෙහෙවරක් අවසානයේ පිටත්වීමේදී හෝ රියර් අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 13ක්, වයිස් අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 15ක්, ආරක්ෂක ලේකම් වෙත, ආණ්ඩුකාරවරයෙක් වෙත, මහ කොමසාරිස්වරයෙක් වෙත, පූර්ණ බලැති රාජ්‍ය දූතයන්, අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 17ක් ආරක්ෂක ඇමති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වෙත, අගමැති වෙත වෙඩිමුර උත්තමාචාර 19 ක්, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යක ආණ්ඩුකාර ජෙනරාල්වරයෙක් වෙත, රජයේ ප්‍රධානියා වෙත හෝ ජනාධිපතිවරයා වෙත උත්තමාචාර වෙඩිමුර 21ක් වශයෙන් වෙඩිමුර උත්තමාචාර පිරිනැමීම සිදු වේ.

තවද, මුල්ම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් මෙම වෙඩි මුර උත්තමාචාරය පවත්වා ඇත්තේ 1948 වර්ෂයේදී වන අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15 ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. 1950 වර්ෂයේ දී ද මෙම ආචාරය පවත්වා ඇති අතර, එය සිදුකර ඇත්තේ විජය නෞකාවේ දී ය. විජය නෞකාව අධිකාරියෙන් ඉවත් කොට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසුව කොළඹ වරාය තුළ Galle Buck Bay නැමැති ස්ථානයේ මෙම අවි 03 ක් සවිකොට තිබුණි. ඉන් පසුව 2000 වර්ෂයේ දී එම අවි කොළඹ ප්‍රදීපාගාරය අසලට ගෙනවිත් සවි කොට ආචාර වෙඩි මුර පවත්වා ඇති අතර, එතැන් සිට නොකඩවා චාරිත්‍රයක් වශයෙන් ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතිය වෙත වෙඩිමුර උත්තමාචාර පිරිනැමීම සිදුකිරීමට ‍නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

1950 වර්ෂයේ දී විජය නෞකාවේදී වෙඩි මුර උත්තමාචාරය පිරිනැමීමෙන් වසර 70කට පසු ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරයක් පිරිනමන ලද ප්‍රථම අවස්ථාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ අද (2021 පෙබරවාරි 04) දින ජාතිය වෙනුවෙන් ‍පිරිනමන ලද වෙඩි මුර උත්තමාචාරය සනිටුහන් වූ අතර, මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය ඉදිරියටත් පවත්වාගෙන යාමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.