බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන අද (2021 ජනවාරි 15) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ විසින් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ පිහිටි බටහිර නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන වෙත භාර දීම සිදු කෙරිණි. බටහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ඇමරිකා එක්සත් ජනපදයේ වොශින්ටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් රාජකාරි කටයුතු කරන ලදි.

වැඩ භාරගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් බටහිර නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානයේ ආඥාපති වශයෙන් රාජකාරි කළ අද (2021 ජනවාරි 15) දින නාවික හමුදා මණ්ඩලික ප්‍රධානී වශයෙන් වැඩ භාරගත් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත බටහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.