නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 දෙසැම්බර් 26 සහ 27 දෙදින උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වී විධානයේ මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ සුභසාධන පහසුකම් පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදි.

නාවික හමුදාධිපතිතුමන් විසින් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා, පණ්ඩුකාභය, ගජබා, තම්මැන්නා, බුවනෙක සහ ඵුස්සදේව යන ආයතනයන් සහ එම ආයතනයන් මගින් පාලනය වන අනුඛණ්ඩයන්හි ද චාරිකාවාරය සිදු කරමින් විධානයේ මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ සුභසාධන පහසුකම් පිළිබඳව නිරීක්‍ෂණය කර, විධානය තුළ දැනට සිදු කරමින් පවතින ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීමටත් විධානයට අයත් නාවික පුද්ගලයින් ඇමතීමටත් කටයුතු කළ අතර, නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු එතුමන් උතුරු මැද නාවික විධානයේ සිදු කළ පළමු නිල සංචාරය ලෙසද මෙය සනිටුහන් විය.

එහිදී ශ්‍රී ලංනානෞ ශික්‍ෂා ආයතනයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ නාවික හමුදාධිපතිතුමන්, කොවිඩ් -19 සමඟින් ඇති වූ නව සාමාන්‍යකරණය යටතේ අඛණ්ඩව පුහුණු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ ශ්‍රී ලංනානෞ ශික්‍ෂා ආයතනයේ ආඥාපති ඇතුළු උපදේශක මණ්ඩලය වෙත ප්‍රශංසා කරන ලදි. එමෙන්ම ආධුනික නාවිකයින් පුහුණු කිරීමේදී මෙන්ම උසස් පාඨමාලාවන් සිදු කිරීමේදීත් නාවික හමුදාව ඉදිරියට ගෙන යා හැකි නාවික පුද්ගලයෙකු බිහි කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දැමීම උපදේශකයින්ගේ වගකීම බව ද අවධාරණය කරන ලදි.

විධානයේ නාවික පුද්ගලයින් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන්, නාවික හමුදාවේ පරිපාලන කටයුතු කාර්යක්‍ෂමව සිදු කිරීම සඳහා නාවික හමුදාවට අනන්න්‍ය වූ අංශ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් නාවිකයින්ගේ පරිපාලන කටයුතු නිසි පරිදි සිදු කළ යුතු බවත්, නාවික විනය සහ මනා පාලනය උසස් අන්දමින් පවත්වාගෙන යන ලෙසටත්, කොවිඩ් වසංගතය සමඟ නව සාමාන්‍යකරණය යටතේ ඉදිරියට රාජකාරී සිදු කිරීම සඳහා නාවික පුද්ගලයන් රාජකාරී ජීවිතයේදී හා පෞද්ගලික ජීවිතයේදීත් තම පැවැත්ම, ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව ඉතාමත් වගකීමෙන් පාලනය කර ගත යුතු බවටත් උපදෙස් ලබා දෙන ලදි.

තවද, දිගු කාලයක් නාවික හමුදාවේ භාවිතයෙන් පසු ක්‍රමයෙන් සේවයෙන් ඉවත් වන නෞකා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශාල ප්‍රමාණයේ නව නෞකා කිහිපයක් ඉදිරි වසර කිහිපය තුළදී නාවික හමුදාව වෙත ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව පැවසූ නාවික හමුදාධිපතිතුමන්, තාක්‍ෂණයෙන් දියුණු වන නාවික හමුදාව තුළ නෞකා හා යාත්‍රා මෙන්ම ආයතනයන්හි රාජකාරී කිරීමට හැකි වන පරිදි සියළුම නාවික පුද්ගලයින් දැනුමෙන් පෝෂණය විය යුතු බවටත් පවසන ලදි.

මුහුදු මාර්ගයෙන් ජාවාරම්කරුවන් විසින් මත් ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සහ බෙදා හැරීම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරමින් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීමට විශාල කාර්යභාරයක් සිදු කරන බව සඳහන් කළ නාවික හමුදාධිපතිතුමන්, ඉදිරියටත් මත් උවදුර පිටුදැකීම සඳහා සිදු කරන මෙහෙයුම් සඳහා සියළුම නාවික පුද්ගලයන් කැපවීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කරන ලදි. එමෙන්ම, කිසියම් නාවික පුද්ගලයෙක් කුමන හෝ අයුරකින් මත් ද්‍රව්‍ය හා සම්බන්ධ වරදක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවර ගන්නා බව වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

රටේ පළමු ආරක්‍ෂක වළල්ල ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය කාර්යක්‍ෂම ලෙස ඉදිරියට සිදු කරගෙන යාම සඳහා ශක්තිමත්, ධෛර්ය සම්පන්න, යහපත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුත් නිරෝගිමත් නැව් කණ්ඩායමක් අවශ්‍ය බවත්, ඒ සඳහා ශරීර ස්ඛන්ධ දර්ශකයට (BMI) සහ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට (PET) අනුකූලව සෑම නාවික පුද්ගලයෙකුම තම ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම අපේක්‍ෂා කරන බවත් අවධාරණය කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන්, සේවයේ නියුතු නාවික පුද්ගලයින් සඳහා මෙන්ම විශ්‍රාමික නාවික පුද්ගලයන් සඳහාද අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි නාවික හමුදා රෝහල් පද්ධතිය පුළුල් ලෙස නවීකරණය කර ඇති බවත්, එම සුභසාධන පහසුකම් තවදුරටත් ඉතා උසස් අන්දමින් ලබා දීමට බලාපොරොත්තු වන බවත් පවසන ලදි.

ශ්‍රී ලංනානෞ ගජබා ආයතනයට අයත් තාල්පාඩු අනුඛණ්ඩයේදී එම අනුඛණ්ඩයට අනුයුක්ත නාවික පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, ‘බුරෙවි’ සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරුමැද නාවික විධානයට අයත් යාත්‍රා ආරක්‍ෂා කර ගැනීම සඳහා එම අනුඛණ්ඩයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් ඇගයීමට ලක් කරන ලද අතර, යාත්‍රාවන්ට අනුයුක්තව රාජකාරී කිරීමේදී නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වැළකී තමන්ට පැවරී ඇති රාජකාරීන්හි පමණක් නිරත වීමට වගබලා ගත යුතු බවට වැඩිදුරටත් අවදාරණය කරන ලදි.

කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම නිරීක්‍ෂණ චාරිකාවාරය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, නාවික හමුදා මූලස්තානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් හා විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, මෙම චාරිකාවාරය සනිටුහන් කරමින් ශ්‍රී ලංනානෞ පණ්ඩුකාභය, ශ්‍රී ලංනානෞ තම්මැන්නා, ශ්‍රී ලංනානෞ බුවනෙක සහ නාවික අනුඛණ්ඩ ඕලුතුඩුවායි හිදී නාවික හමුදාධිපතිතුමන් විසින් අඹ සහ පොල් පැළ රෝපණය කිරීමට ද කටයුතු කෙරිණි.