නාවික හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින සුභ පැතුම් පණිවිඩය

ජේසු සමිඳානන්ගේ උපත සමරනු වස් උදා වූ නත්තල සතුට, සාමය පිරි ප්‍රීතිමත් එකක් වේවායි කිතුණු බැතිමත් ඔබට සහ සියලුම නාවික/සිවිල් පුද්ගලයන් හට ප්‍රාර්ථනා කරමි.

සියලුම ආගමික නායකයින්ගේ ආගමික පාඨය තුලින් සමාජය වෙත සුභ පණිවුඩයක් එක්කර තිබෙනවා මෙන්ම, එය ඔවුන්ගේ අනුගාමිකයන් සඳහා පමණක් නොව මුළු මහත් සමාජය වෙත ලබා දී ඇති පූර්වාදර්ශයන් වේ.

සාමය, සහජීවනය, උත්තරීතර මනුෂ්‍යත්වය සහ පරිත්‍යාගය තේමා කරගත් නත්තල තුලින් සමස්ත සමාජය සුවදායි වටපිටාවකට හැඩගස්වා ඇත. හමුදාවක් වශයෙන් එකිනෙකා තුල පවතින අනෝන්‍ය සුහදත්වය, සහසම්බන්ධතාවය, පරාර්ථකාමීත්වය සහ සාමුහිකත්වය ඉතා ඉහළින් අපේක්‍ෂා කරන අපගේ වටපිටාව තුල සාමය තේමා කරගත් නත්තල ඒ අනුව අප සැමට අතිශය වැදගත් වේ.

ගිලිහී යමින් පවතින අපගේ ඇතැම් යහපත් ගුණාංග කෙරෙහි අවධානය යොමුකල යුතු යුගයකට අප අවතීර්ණ වී ඇති වකවානුවක කිතු දහම තුල අපගේ පැවැත්ම කෙරෙහි සුවිසල් ආදර්ශයන් ලබා දී ඇත. අද පවතින ව්‍යසනකාරී තත්වය තුල වුවද ඉවසීමෙන් කටයුතු කිරීමට අප පුරුදු පුහුණු කරවන ලද්දේ අප අදහන ආගම තුලිනි.

ලොව තුල අසහනකාරී යුධ තත්ත්වයන් ඇතිවන්නට, පුද්ගලයකු වශයෙන් තමන් පුරුදු පුහුණු කර නොගත් සිතිවිලි සහ හැඩගැසීම් හේතුපාදක වී ඇත. ලොව තුල මතුවෙමින් ඇති සියලු ගැටලු දාමයන් තුල නොහික්මුණු මිනිසා නිර්මාපකයකු වී ඇති බැවින් අප අදහන කවර හෝ ආගමක් තුලින් අපගේ මානසික සංවර්ධනය/ හික්මීම ඇතිකර ගැනීමට උත්සුක විය යුතුය. ඒ අනුව හමුදාවක අභිප්‍රායන් සඵල කරගැනීම උදෙසා හික්මුණු මිනිසකු නිර්මාණය වීමට ජේසු සමිඳානන්ගේ චින්තනය තුල වූ ආදර්ශයන් විශාල වෙනසක් සිදුකිරීමට සමත්ව ඇත.

එකී යහපත් චින්තනය තුල එකිනෙකා කෙරෙහි ගොඩනගා ගන්නා ශක්තිමත් බැඳීම තුලින් හමුදාවක අරමුණු ජයගැනීම උදෙසා සාර්ථක විසඳුම් සොයා යාම අපේක්‍ෂා කරමු. සමාජය තුල දකිනා අසම්මත ක්‍රමවේදයන් ඔස්සේ දිවෙන අසහනකාරී මානසිකත්වයෙන් මිදී ජයග්‍රහණය උදෙසා යන ගමනට ජේසු සමිඳානන්ගේ චින්තනය ඉවහල් කරගමු.

ඔබට සහ ඔබගේ පවුලේ සෑම දෙනාටම උදාවූ නත්තල අසිරිමත් නත්තලක් වේවායි නැවත ‍ප්‍රාර්ථනා කරමි.