අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් වෙතින් සුභපැතුම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය 2020 ‍දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් හා ආරක්ෂක උපදේශකයින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය නිමිත්තෙන්, නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගිතාවය වැඩිදියුණු කර ගැනීම තුලින් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති පොදු මෙහෙයුම් හා තාක්ෂණික අභියෝග ජයගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින්, ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං (Karambir Singh) සහ ඉතාලි නාවික හමුදාවේ ප්‍රධානී අද්මිරාල් ගුසේප් කාවෝ ද්‍රගෝනේ (Giuseppe Cavo Dragone) යන විදෙස් නාවික හමුදා ප්‍රධානීන් ද, ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි ස්කෝඩා (Denis I. Shkoda) විසින්ද සිය සුභපැතුම් පණිවිඩ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ඉදිරිපත් කර තිබුණි.

තවද, ඇමරිකා එක්සත් ඡනපද ශාන්තිකර නාවික බල ඇණියේ ආඥාපති, අද්මිරාල් ඡේසී ඇකුලිනෝගේ (J.C. Aquilino) සුභපැතුම් පණිවිඩය, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල‍යේ නාවික ආරක්ෂක උපදේශක, ලුතිනන් කොමාන්ඩර් රිචඩ් ලිස්ටර් (Richard Lister) විසින් අද (2020 දෙසැම්බර් 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනැමීමෙන් අනතුරුව, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරකද නිරත විය.