ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය අද (‍දෙසැම්බර් 9) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 70 වන සංවත්සරයට සමගාමීව, මෙවර “මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 09 වන දින සිට 13 වන දින දක්වා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී පවත්වනු ලබන නෞකා දැක්ම මඟින්, නෞකාවන්ගේ හැකියාවන් සහ භාවිතය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටද කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් වූ ආගමික වැඩසටහන් මාලාව ආරම්භකරමින්, කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන් හීදී රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සංවිධානය කරන ලද අතර, එහිදී ජාතික ධජය, බෞද්ධ ධජය සහ නාවික හමුදා ධජය ඇතුළු විධාන, ආයතන සහ නෞකාවන්ට අයත් ධජ 87 ක් වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ ආශිර්වාදය ලබාගන්නා ලදී. එමෙන්ම, දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් අබියස ගිලන්පස බුද්ධ පූජාව සිදුකරන ලද අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව, අද (2020 දෙසැම්බර් මස 09) දළඳා සමිඳුන් උදෙසා බුද්ධපූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය ශ්‍රී දළඳා සමිඳුන් අබියසදී සිදු කරන ලදී.

තවද, යුද්ධයෙන් මියගිය සියළුම නාවික විරුවන් සිහි කරමින් සහ වත්මන් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත් සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මයක් සිදුකිරීමට ද කටයුතු සංවිධානයකර තිබේ. මෙම ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මස්ජි මස්ජිද් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

1950 දෙසැම්බර් මස 09 වන දින රාජකීය ලංකා නාවික හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ස්ථිර නාවික හමුදාවේ ආරම්භය සනිටුහන් විය. එතැන් සිට ක්‍රමිකව වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ මැයි මස 22 වන දින මෙරට ජනරජයක් බවට පත්වීමත් සමග, ශ්‍රි ලංකා නාවික හමුදාව බවට පත් විය. එතෙක් සාම්ප්‍රදායික රාජකාරීන් සඳහා මූලිකත්වය දී තිබූ නාවික හමුදාව, අසූව දශකය මුල්බාගයේ එල්ටීටීඊ සංවිධානය විසින් ආරම්භ කළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ, පූර්ණ ලෙස ක්‍රියාන්විත රාජකාරීන් සඳහා යොමු විය.

දශක තුනකට ආසන්න කාලයක් රට වෙලා පැවති ත්‍රස්තවාදය 2009 වර්ෂයේ මැයි මස 18 වන දින මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම සඳහා උරදුන් නාවික හමුදාව, පස්චාත් යුද සමයේ රට ගොඩනැගීමේ ජාතික මෙහෙවරට උරදෙමින් වරායන් මෙන්ම මුහුදු ගමන් මාර්ග සඳහා නිරන්තර ආරක්ෂාව සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල වූ අනන්‍ය ආර්ථික කලාපයෙහි ඇති සාගරික සම්පත් හා සාගරික පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීමත්, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ නීතිය ක්‍රියාත්මක කරමින් මහ මුහුදේ ආධිපත්‍යය රැකගැනීමත්, විදේශ ප්‍රතිපත්තියට හා ජාතික ආරක්ෂක අරමුණු වලට අනුකූලව ජාතික අවශ්‍යතා සපුරාලීම සඳහා සමුද්‍රීය පරිසරය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හිතකර ලෙස හැඩගස්වා ගැනීම සඳහාත් හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් සිදුකිරීම නාවික හමුදාවේ කාර්යභාරය වේ.

දෘශ්‍යමාන සතුරෙක් නොමැති වුවත් සාගර කලාපයේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුකරනු ලබන මුහුදු මංකොල්ලකෑම්, සාගරික ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, මිනිස් ජාවාරම, නීති විරෝධී වාර්තා නොවන සහ නියාමනය නොවූ ධීවර කටයුතු, සාගරික දූෂණය ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවේ සම්පත් හා පිරිස් බලය උපරිම ඵලදායිතාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදවමින් දේශයේ පළමු ආරක්‍ෂක වළල්ල ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාව දිවා රාත්‍රී නිරන්තර දේශ සීමා මුර සංචාර සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය නිමිත්තෙන් සිදුකරනු ලබන සියළු වැඩසටහන්, පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සියළු සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබයි.