70 වන නාවික හමුදා සංවත්සර කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව තුටු පහටු සිතින් යුතුව අනුරපුර පුදබිමේදී පැවැත්වීය

2020 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය මෙවරත් බැතිබර සිතින් යුතුව සංවිධානය කෙරිණි. 2020 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන් හීදී රුවන්වැලි මහ සෑ රඳුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවති මෙම පුණ්‍ය කටයුත්ත නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගෙතැන්න මහත්මිය ද සහභාගී විය.

නාවික හමුදා බෞද්ධ සංගමයේ සැදැහැති සිතින් සංවිධානය කරන ලද කංචුක පූජා පිංකම රුවන්වැලි සෑ රදුන් අබියස නොවැම්බර් මස 12 වන ගුරු දින දී පැවැත්විණි. එහිදී රුවන්වැලි මහ සෑ ගර්භය වටා මීටර 300ක දිගකින් යුත් බෞද්ධ ධජයක් පැළඳවීම නාවික හමුදාධිපති තුමන් සහ එම අවස්ථාවට සපැමිණි ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් බැතිබරව සිදු කෙරිණි. ඉන් අනතුරුව පිරිකර සහ ගිලන්පස පුජා කරමින් ආගමික වතාවත් හි නියැලිණි.

පසුදින ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්විණි. මෙහිදී ජාතික ධජය, බෞද්ධ ධජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ධජය ඇතුළු නාවික හමුදා විධාන, ආයතන සහ නෞකාවන්ට අයත් ධජයන් 87 ක් ජය ශ්‍රී මහා බෝ මලුවේදී පංචතූර්ය නාද මධ්‍යයේ ආශිර්වාදයට පාත්‍ර විය.

මෙම පුණ්‍ය අවස්ථාව අනුරාධපුර අට‍මස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝණායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ද ආශිර්වාදයෙන් යුතුව සිදු කෙරිණි. ගරුතර මහා සංඝරත්නය විසින් දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා නාවික හමුදාව දැක්වූ සු‍විශේෂී කාර්යභාරය අගය කරමින් එම සටනේදී දිවි පිදූ, අතුරදන්වූ සහ ආබාධයට ලක්වූ සියළු නාවික විරුවන් වෙත පින් අනුමෝදනා කරන ලදී. තවද, උන්වහන්සේලා විසින් වත්මන් නාවික හමුදාධිපති ඇතුළු දැනට සේවයේ නියුතු සියළුම නාවික විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා ශක්තිය සහ චිරජීවනය අපේක්‍ෂා කරමින් ආශිර්වාද කෙරිණි. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ද නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය අංශ විසින් සිදු කරනු ලබන ඒ සුවිශේෂී දායකත්වය ද අගය කර අනුශාසනා කරන ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වන ලද මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීර සහ එම මැතිණිය, උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් ඇතුළු නාවික විධානයන් භාර ආඥාපතිවරුන් සහ නාවික හමුදා ‍අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් සීමිත පිරිසක්ද සැදැහැවත්ව සහභාගීවී සිටියහ.