අභිනව ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (2020 නොවැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙහිදී නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි අභිනව ගුවන් හමුදාධිපති තුමන්, නාවික හමුදා නියෝඡ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා බටහිර නාවික විධානයේ අඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රධායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් පිරිනැමීමට කටයුතු කෙරිණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු කළමනාකරණ මණ්ඩලයද සහභාගි විය.

ගුවන් හමුදාධිපති ලෙස පත්වීමෙන් පසුව එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ගුවන් ‍හමුදාධිපති අතර පැවති සුහද පිළිසඳරකින් අනතුරුව නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙත නාවික හමුදාධිපති තුමන් විසින් සුභපැතුම් පිරිනමන ලදි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.