නාවික හමුදා දායකත්වයෙන් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඉවත් කෙරේ

නාවික හමුදාව විසින් දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් 2020 නොවැම්බර් මස 02 වන දින ක්‍රියාත්මක කෙරිණි.

නොසැලකිලිමත් ලෙස ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය වෙරළ තීරයට බැහැර කිරීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හා එහි ජෛව විවිධත්වයට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නිරන්තර දායකත්වය සපයයි. ඒ අනුව, ත්‍රිකුණාමලය කෝනේශ්වරම් අසල සිට ත්‍රිකුණාමලය මහ රෝහල දක්වා වූ වෙරළ තීරය වෙත නොසැලකිලිමත් ලෙස බැහැර කරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය වරින්වර මුහුදු ජලය සමඟ වෙරළට ගසා ගෙන ඒමත්, වෙරළාශ්‍රිතව ජලයේ පාවෙමින් තිබීමත් හේතුවෙන් වෙරළාශ්‍රිත සාගර පරිසරය දූෂණය වීම වැළැක්වීම සඳහා නැගෙනහිර නාවික විධානය විසින් මෙම දිය යට පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

මෙහිදී වෙරළ තීරයට ආසන්න මුහුදේ තැන්පත් වී තිබූ සහ පාවෙමින් තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය රැසක් ඉවත් කිරීමට හැකි වූ අතර එමගින් වෙරළ පරිසර පද්ධතියට සිදුවන හානිය වළක්වා ගැනීමට හැකියාව ලැබුණි.

තවද, මෙම වැඩසටහන සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් සහභාගීවූ අතර, ත්‍රිකුණාමලය පොලිසියේ සහයෝගයද මේ සඳහා ලබා දෙන ලදී.