නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී නිමාවට පත් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ ආයතනයන්හි පුද්ගලයින් සඳහා නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පාඨමාලාව 2020 ඔක්තෝබර් 09 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සාගරික අපරාධ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව 2020 සැප්තැම්බර් 28 වන දින සිව්වන වරට ආරම්භ කරන ලද නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ මෙම විශේෂ පාඨමාලාව මගින් නෞකා වෙත ප්‍රවිශ්ඨවීමේ ක්‍රියාපටිපාටිය මෙන්ම මත්ද්‍රව්‍ය හඳුනාගැනීම්, පරීක්‍ෂා කිරීමේ ක්‍රමෝපායන් සහ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සම්බන්ධයෙන්ද දැනුම ලබා දීමට කටයුතු කෙරිණි. සති දෙකක් පුරා පැවැති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් තිස් දෙනෙකුගෙන් (30) යුත් පුහුණුවන්නන් කණ්ඩායමක් සහභාගී වූ අතර, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීමේ මෙහෙයුම් සඳහා දායක වන පාර්ශවකරුවන් ලෙස ශ්‍රී ලංකා පොලීසියේ සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාව ද මෙය විය .

පාඨමාලාව අවසානයේ සහතිකපත් ලබා දීමේ අවස්ථාව සඳහා විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු විධායක, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ නිලධාරීන් සහ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු උපදේශකයින් පිරිසක් සහභාගී වී සිටියහ