රියර් අද්මිරාල් ලලිත් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනි

වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ලලිත් දිසානායක අද (2020 ඔක්තෝබර් 08) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

අද දින සිට විශ්‍රාම යනු ලබන රියර් අද්මිරාල් ලලිත් දිසානායක ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ 55 වන උපන් දිනයද අද දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් ලලිත් දිසානායක වෙත උපන් දින සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන ලදි.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ලලිත් දිසානායක, සිය සේවා කාලය තුල, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික අවි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති ආදී ප්‍රමුඛ නිලතලද දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.