නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රීලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 සැප්තැම්බර් 26 වන දින උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක් සඳහා පිටත්විය.

මෙම සංචාරයේදී උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, එළාර, අග්බෝ ගෝඨයිම්බර, කංචදේව හා වේළුසුමන යන ආයතනයන් සහ එම ආයතනයන් මගින් පාලනය වන වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයන්හි නාවික හමුදාධිපති නිරීක්‍ෂණ චාරිකාවාරය සිදු කරන ලද අතර, විධානය විසින් සංවිධානය කරන්නට යෙදුණු විශේෂ වැඩසටහන් කිහිපයක් සඳහාද එතුමන් සහභාගී විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, එම විධානයේ රාජකාරීන් සිදු කිරීමේදී ඉතාමත් සුපරික්‍ෂාකාරීව කටයුතු කළ යුතු බවට විශේෂයෙන් අවධාරණය කරන ලද අතර, නාවික විනය සහ මනා පාලනය පවත්වා ගැනීම සඳහා අංශ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ආයතනයන්ගේ දෛනික චර්යාවන් නිසිලෙස පවත්වා ගැනීමටත්, නාවික පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍ය නිසි පරිදි පවත්වා ගැනීමටත් කටයුතු කලයුතු බව සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා බවටත් මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටින ලදි. එසේම උතුරු නාවික විධානය කොවිඩ් 19 ව්‍යාප්තියෙන් තොර කළාපයක් බවට පවත්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ ආඥාපති, නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරීන් හා විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියළුම නිලධාරීන් සහ නාවිකයින්හට සිය ස්‍තූතිය ප්‍රකාශ කළ නාවික හමුදාධිපතිතුමන් කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සම්මත ක්‍රියා පිලිවෙත් තවදුරටත් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටින ලදි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ඉදිකෙරමින් පවතින නව නිලධාරී නිවාසයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කල නාවික හමුදාධිපති තුමන්, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ, එළාර, ගෝඨයිම්බර, කංචදේව සහ වේළුසුමන යන ආයතනයන් හිද නිරීක්‍ෂණ සංචාරයන් සිදු කරන ලදි. තවද, මෙම චාරිකාවාරය සනිටුහන් කරමින් පැළ රෝපණ ව්‍යාපෘතියක්ද නාවික හමුදාධිපතිගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.

තවද, උතුරු නාවික විධානයේ සිදු කරන ලද මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී ඓතිහාසික නාගදීප රජමහා විහාරය වැඳපුදාගත් නාවික හමුදාධිපතිතුමන් උතුරු පළාතේ ප්‍රධාන සංඝ නායක, නාගදීප රජමහා විහාරාධිපති, ප්‍රවීණාචාර්ය, ධම්මකිත්ති ශ්‍රී, අති පූජ්‍ය නවඳගල පදුම කිත්ති තිස්ස නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගන්නා ලදි. එහිදී නාවික හමුදාව සහ නාගදීප රජමහා විහාරය අතර පවතින සමීප සබඳතාවය සිහිකළ උන්වහන්සේ නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාවට රාජකාරීන් නිසි ලෙස කරගෙන යාම සඳහා තම ආශිර්වාදය එක් කලහ.

එමෙන්ම, නාවික හමුදාධිපති තුමන්ගේ නාවික දිවියේ සුවිශේෂී ස්ථානයක් වූ වර්තමානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මගින් පාලනය වන නාගතෙවන්තුරේ අනුඛණ්ඩය එතුමන් විසින් නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව 2020 සැප්තැම්බර් 27 වන දින මෙම හදිසි නිල සංචාරය නිමාවට පත් විය.