නාවික හමුදාව විසින් ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අද (2020 අගෝස්තු මස 31) වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙම පාසලෙහි සිදුකල සංචාරයකදි පාසලෙහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් විසින් සිදුකල ඉල්ලීමකට අනුව දින 10ක් වැනි කෙටි කාලයකදි පාසල් දරුවන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානක් නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය මත ස්ථාපනය කිරීමට කටයුතු සිදු කෙරිණි. මෙලෙස සිසු අයිතියට පත් කල ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලෙහි සිසු දරුවන් 4000ක ගේ පමණ දෛනික පානීය ජල අවශ්‍යතාවය සෞඛ්‍යාරක්‍ෂිතව සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, නාවිකයින් සහ පාසලෙහි දරුවන් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.