මහියංගනය ප්‍රදේශයේ නාවික හමුදාව ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට

නාවික හමුදා පූර්ණ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මහියංගනය ප්‍රදේශයේ ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට පත් කිරීම 2020 අගෝස්තු 28 වන දින සිදු කරන ලදි.

මහියංගනය ප්‍රදේශයේ බෙලිගල්ල සහ වැව්ගම්පහ යන ප්‍රදේශයන්හි ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලද අතර ඒ අනුව, බෙලිගල්ල, ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානයේත්, බෙලිගල්ල, 50 කනුව දියබානා ඇල ආසන්නයේත්, වැව්ගම්පහ, මීගහපිටිය ගම්මානයේත් මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි. මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ප්‍රදේශයේ ජීවත් වන පවුල් 1000 කට පමණ ‍තම දෛනික පානීය ජල අවශ්‍යතාවය සෞඛ්‍යාරක්‍ෂිතව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ පූර්ණ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදිකල මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීම ගිණිකොණ නාවික විධානයේ විධාන මෙහෙයුම් නිලධාරි විසින් සිදු කල අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ගරුතර ස්වාමීන්වහන්සේලා, මහියංගනය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.