නාවික හමුදාව ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට පත් කිරීම 2020 අගෝස්තු 26 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා අනුරාධපුරය දිස්ත්‍රික්කයේ විහාර බුලංකුලම විද්‍යාලය, පණ්ඩුලගම සිරි සම්බුද්ධ විහාරස්ථානය සහ සීප්පුකුලම නෙකටුනුවැව සිරි සම්බුද්ධ විහාරස්ථානය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයන් ඉදිකිරීමට කටයුතු කල අතර, මෙම ඉදිකිරීම් කටයුතු නාවික හමුදා සමාජිය මෙහෙවර අරමුදලේ මුල්‍ය දායකත්වය සහ නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය මත සිදු කෙරිණි. මෙලෙස ජනතා අයිතියට පත් කල ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් විහාර බුලංකුලම, පණ්ඩුලගම, සීප්පුකුලම යන ගම්මානයන්හි වෙසෙන පවුල් 650කට ආසන්න ජනතාවකගේ දෛනික පානීය ජල අවශ්‍යතාවය සෞඛ්‍යාරක්‍ෂිතව සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා පණ්ඩුලගම සිරි සම්බුද්ධ විහාරස්ථානයේ සහ නෙකටුනුවැව සිරි සම්බුද්ධ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන්වහන්සේලා, විහාර බුලංකුලම විද්‍යාලයේ විදුහල්පති, වැඩ භාරගැනීමට නියමිත උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, නාවිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ.