නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළු‍ගේතැන්න මැතිණිය ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමට ප්‍රථම, අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් හමුවූ නාවික හමුදාධිපතිතුමන් උන්වහන්සේගෙන් ආශිර්වාද හා අනුශාසනා ලබාගත්තේය. එහිදී උන්වහන්සේ විසින් අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත ඉදිරි වැඩකටයුතු සාර්ථකව කර ගැනීම සඳහා ආශිර්වාද ලබාදුන් අතර, විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා නාවික හමුදාව ලබාදුන් සහයෝගය අගය කර සිටින ලදි.

තවද මෙහිදී, නාවික හමුදාධිපති තුමන් විසින් අටමස්ථානාධිපති හිමියන් වෙත විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා ඉදිරියටත් නාවික හමුදාවේ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවට ප්‍රකාශ කර සිටින ලදි.