නව නාවික හමුදාධිපති තුමන් මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර, මල්වතු මහා විහාරයේදී මහ නායක මාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළු‍ගේතැන්න මැතිණියද සහභාගී විය.

මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක මාහිමිපානන් වන මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාභී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපානන් විසින් මෙහිදී අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කර ගෙන යාමට ආශිර්වාද කල අතර, කොරෝනා ආසාධිත පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව සිදු කරන මෙහෙයුම් කටයුතු අගය කරන ලදි.

ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර නාහිමිපානන් බැහැදුටු නාවික හමුදාධිපති තුමන් හට ආශිර්වාද එක්කල උන් වහන්සේ, 30 වසරක් පුරා පැවති යුද්ධය අවසන් කිරීමට පාවෙන අවි ගබඩා විනාශ කරමින් නාවික හමුදාව සිදු කල ඒ සුවිශාල දායකත්වය සම්බන්ධයෙන් කෘතඥතාවය පළකරමින් ඉදිරියටත් රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඒ අකාරයෙන්ම දායකත්වය ලබා දෙන ලෙස අනුශාසනා කරන ලදි.

තවද මෙම අවස්ථාවේදී මල්වතු පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය නියංගොඩ ධර්ම කීර්ති හිමිපානන්ද නාවික හමුදාධිපති තුමන්ගේ ඉදිරි රාජකාරි කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා සෙත් පතා ආශිර්වාද කරන ලදි.