නාවික හමුදාධිපතිතුමන් වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 21) යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

එහිදී, වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලද අතර, ඉදිරි කටයුතු වලදී යුද්ධ හමුදාවේ නොමද සහාය නාවික හමුදාව වෙත ලබා දෙන බව ද ප්‍රකාශ කර සිටින ලදි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.