මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ මුහුදු තීරයන්හි නීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, ඔහු විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 118ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 38 ක් වන බටහිර අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගත් අතර, එම පුද්ගලයා සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාර දෙන ලදී.