නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුලි 16 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු ඉදිරි මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් සහ ඩිංගි යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් මසුන් ඇල්ලීම මැඩපැවැත්වීම මගින් සාගර පරිසරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි 16 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු ධීවර යාත්‍රා කිහිපයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා තුනක් (03) ඇතුළු ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 17 ත් 38 ත් අතර වයසේ පසුවන කුච්චවේලි,පොඩුවකට්ටු සහ ජයනගර් යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවට හදුනාගන්නා ලද අතර, එම පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.