නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 13 සහ 14 යන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 19 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි 13 සහ 14 යන දෙදින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු ප්‍රදේශයන් වලදී සිදු කල මුර සංචාරයන් වලදී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සහ නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝක භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතක් (07), තහනම් දැල් දෙකක් (02) සහ එම ධීවර යාත්‍රාවන් තුල තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 49 ත් අතර වයසේ පසුවන එරක්කණ්ඩි, පදවිශ්‍රීපුර, කෝකිලායි, මදුරන්කුලිය සහ පුල්මුඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය සහ ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.