නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 29 වන දින කල්පිටිය, ජනසවිපුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලය පාවුල් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව වයඹ නාවික විධානයේ නාවිකයින් පිරිසක් 2020 ජුනි 29 වන දින කල්පිටිය, ජනසවිපුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල මුර සංචාරයකදී එකම ලියාපදිංචි අංකය සටහන් ව්‍යාජලෙස භාවිතා කරන ලද ධීවර යාත්‍රා දෙකක් (02) සමග පුද්ගලයින් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගන්නා ලදි. එසේම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් එදිනම ත්‍රිකුණාමලය පාවුල් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඩිංගි යාත්‍රා දෙකක් හා පුද්ගලයින් අට දෙනෙකු (08) , තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 12 ක් සමග නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මේ අනුව මෙම මෙහෙයුම් මගින් ‍පුද්ගලයින් 13 දෙනෙක්, තහනම් දැල් 01 ක්, මසුන් කිලෝග්‍රෑම් 12 ක් සහ ධීවර යාත්‍රා හතරක් (04) ඇතුළු එම ධීවර යාත්‍රාවන්හි තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 22 ත් 44 ත් අතර වයස් වල පසුවන කල්පිටිය සහ මූතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට තහවුරු කර ගන්නා ලදි. පසුව අදාල පුද්ගලයන්, ඩිංගි යාත්‍රාවන්, තහනම් දැල, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක වෙත හා ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.