ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කළ තවත් වැඩසටහනක් ගාල්ල වරාය පරිශ්‍රයේදී සිදු කරන ලදී

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල හිස ඔසවමින් පවතින ඩෙංගු උවදුර ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් 2020 ජුනි 22 වන දින ගාල්ල වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ඩෙංගු උවදුර ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර එලෙස ක්‍රියාත්මක තවත් එක් වැඩසටහනක් දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් ගේ සහභාගිත්වයෙන් ගාල්ල වරාය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදී. එහිදී ගාල්ල වරාය තුල එක්රැස් වී තිබූ කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කල අතර, විශේෂයෙන් වරාය පරිශ්‍රයේ ජලය එක්රැස් විය හැකි ස්ථාන විනාශ කිරීමට මෙහිදී කටයුතු කරන ලදී. දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වී සිටින ලදී.

රට තුළ ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට සූදානමින් සිටින නාවික හමුදාව ඉදිරියේදීද මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙවැනි වැඩසටහන් සිදු කිරීමට සූදානමින් සිටී.