නාවික හමුදාව විසින් නිෂ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෛද්‍ය කාර්යය මණ්ඩල වෙත කෙරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දීමට 2020 මැයි 29 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදි.

නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවන ලද නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් 2020 මැයි මස 29 වන දින තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබාදීමට කටයුතු කරන ලද අතර, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් එම ස්වයංක්‍රීය යන්ත්‍රය භාරගැනීම සිදු කරන ලදි.

මෙම යන්ත්‍රයද ඇතුළුව නවික හමුදාව නිෂ්පාදනය කරන ලද (මෙඩි මේට්) නම් ස්වයංක්‍රීය උපකරණ 05ක් මේ වන විට රෝහල් වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර, මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්හට කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්‍ෂණ විනිශ්චය කිරීමට සහ ඔවුන් සමඟ අදහස් හුවමාරුවත්, රෝගීන් හට අවශ්‍ය ‍‍ඖෂධ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත් හැකියාව ඇත.