නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු 2020 මැයි මස 22 සහ 23 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ‍බූස්ස නාවික හමුදා නිරෝධායන මධයස්ථානයේ සිටි ජාත්‍යන්තර නෞකා ආරක්‍ෂණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 11 දෙනෙකු සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්තානයේ නිරෝධායනය වූ නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 04කට අයත් සාමාජිකයින් 18 දෙනෙකු මෙලෙස එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලද අතර, මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථනයෙහි නිරෝධායනය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සියළු දෙනාම නිරෝධායනය අවසන් කර එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් කණ්ඩායම් 23ක් වශයෙන් පුද්ගලයින් 179ක් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් තවදුරටත් පුද්ගලයින් 85ක පිරිසක් එහි නිරෝධායනය වෙමින් සිටී.