‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වෙත අත්‍යාවශ්‍ය විෂයන් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය විෂයන් තොගයක් ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 22) ශ්‍රද්ධා රූපවාහිනී නාලිකා පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතී. ඒ අනුව අද (2020 මැයි 22) දිනයේදීද ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය නාවික හමුදාව වෙත අවශ්‍ය රෙදි සෝදන යන්ත්‍ර 11ක්, ඉන්හේලර් උපකරණ 300ක් ඇතුළුව තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමියන් සහ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් දිනුවර මහතා ඇතුළු ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ පිරිසක් විසින් නාවික හමුදාව වෙත භාරදීම සිදු කරන ලදි

මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් කොමාණ්ඩර් සමන් විතානච්චි සහභාගීවී සිටින ලද අතර, නාවික හමුදාධිපති තුමන් විසින් මෙම විෂයන් නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ උතුම් පුණ්‍ය ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍