තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ ‍තොගයක් නාවික හමුදාව වෙත පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 01) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා විවිධ ආයතනයන් වෙතින් ද්‍රව්‍යමය අනුග්‍රහයන් ලබාදීම සිදුකරනු ලබමින් සිටී. ඒ අනුව පසුගිය 2020 අප්‍රේල් 28 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කර දංකොටුව පෝසිලේන් කර්මාන්ත ශාලාවේ නිශ්පාදනය කරන ලද ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 50ක ප්‍රමාණයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලද අතර අද (2020 මැයි 01) දිනද එවැන්ම වූ ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීම සිදු විය. මෙම අවස්ථාව සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථාකාචාර්ය, ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර මහතා සහ දන්කොටුව පෝසිලේන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තවත් පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් එම උපකරණ නාවික හමුදාව වෙත භාර ගන්නා ලද අතර, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් පැමිණ සිටි පිරිස වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍