ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට (04) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට (04) කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2020 අප්‍රේල් මස 30 වන දින කටයුතු කරන ලදි.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන විධිමත් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීම සඳහා ඔලුවිල් ප්‍රදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි. පසුව නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසෙන් කිහිපදෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමඟ එම මධ්‍යස්ථානයේ සිටි අනෙක් පිරිසද පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි. එහිදී සිදු කල පරීක්‍ෂණ මගින් තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට (04) කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු කර ගැනීමට හැකිවිය.

ඒ අනුව, වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු කර ගත් ආසාධිතයින් කඩිනමින් ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා 2020 අප්‍රේල් මස 30 කාත්තන්කුඩි මහ රෝහල වෙත ගිලන් රථයක් මගින් රැගෙන යාමට කටයුතු කරන ලදි.