නීති විරෝධී මත්පැන් නිශ්පාදනය සහ අලෙවිකිරීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින පුත්තලම, සෙතපොළ ප්‍රදේශයේ සිදු කල ජංගම මුර සංචාරයකදී සහ 2020 අප්‍රේල් 22 සහ 23 යන දිනයන්හි වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සොදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය සහ අලෙවි කිරීම සිදු කල ස්ථාන තුනක් (03) වටලා එහි තිබී නීති විරෝධී දේශීය මත්පැන් සහ එම මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහ තවත් උපකරණ තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් 2020 අප්‍රේල් 22 වන දින පුත්තලම, සෙතපොළ ප්‍රදේශයේ සිදු කල ජංගම මුර සංචාරයකදී එම ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක ඉතා රහසිගතව නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි තිබූ දේශීය මත්පැන් බෝතල් 50ක පමණ ප්‍රමාණයක්, එම මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා ගෝඩා බෝතල් 530 ක පමණ ප්‍රමාණයක් සහ තවත් එම මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තවද, වෙන්නප්පුව ප්‍රදේශයේ 2020 අප්‍රේල් 22 සහ 23 යන දිනයන්හි සිදු කල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ස්ථාන දෙකකදී (2) දේශීය මත්පැන් විකුණමින් සිටි පුද්ගලයෙකු (01) සහ දේශීය මත්පැන් නිශ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි සිටි තවත් පුද්ගලයෙකු (01) දේශීය මත්පැන් බෝතල් 15ක පමණ ප්‍රමාණයක්, එම මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා ගෝඩා බෝතල් 25 ක පමණ ප්‍රමාණයක් සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි. මෙහිදී එම මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් කරඹ, මාම්පූරි වෙන්නප්පුව සහ වයික්කාල යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 21ත් 51 අතර වයස් වල පසුවන්නන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, සොයා ගන්නා ලද දේශීය මත්පැන් හා එම මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා (ගෝඩා) ‍සහ මෙම මත් පැන් නිශ්පාදනයට යොදා ගන්නා ලද උපකරණ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නොරොච්චෝලේ සහ වෙන්නප්පුව යන පොලීස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලදි.