Colombo International Container Terminals (CICT) ආයතනය වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 22) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, බූස්ස, ඔලුවිල්, සාම්පූර්, මුලන්කාවිල් සහ කල්පිටිය යන ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථානද පවත්වාගෙන යනු ලබයි. කොරෝනා වෛරසය පිටු දැකීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන වැඩසටහන් සඳහා විවිධ ආයතනයන් වෙතින් ද්‍රව්‍යමය අනුග්‍රහය ලැබෙන අතර, ඒ අනුව අද (2020 අප්‍රේල් 22) Colombo International Container Terminals ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් හොන්ග් (Jack Hong) මහතාගේ උපදෙස් මත එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් විසින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් ලබා දීම සිදු කරන ලදි. මෙහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදාව වෙනුවෙන් එම විෂයන් භාර ගන්නා ලද අතර, මෙම අවස්ථාවට සහභාගී වූ CICT ආයතනයේ නියෝජිතයින් විසින් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් සිදු කර ගෙන යනු ලබන වැඩසටහන් ඇගයීමට ලක් කර සිටින ලදි.

තවද, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් එම ආයතනයේ නියෝජිතයින් වෙත කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍