ඉතාලිය බලා ගමන් කරමින් තිබූ MSC Magnifica නම් මගී නෞකාවේ සේවය කල අනුර බණ්ඩාර හේරත් මහතා සමඟින් තවත් දෙදෙනෙක් (02) නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත.

MSC Magnifica මගී නෞකාවේ සේවය කල 2020 අප්‍රේල් 06 වන දින නාවික හමුදාව විසින් ගොඩ බිමට ගෙන්වා ගත් අනුර බණ්ඩාර හේරත් මහතා සමඟින් තවත් දෙදෙනෙක් (02) බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය අවසන් කර 2020 අප්‍රේල් 21වන දින සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ සේවය කල අනුර බණ්ඩාර හේරත් මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස සිදු කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගයෙන් ඔහුව ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

ලොව කිසිදු රටක වරායකින් මෙම මගී ප්‍රවාහන නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් විමට ගමන් ආරම්භ කර තිබූ අවස්ථාවක, නෞකාවේ සැපයුම් අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණි අවස්ථාවේ නෞකාවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා නැවත ආරක්‍ෂිතව මව් රටට ගොඩබස්වා ගෙන නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

එලෙස නිරෝධායනය වූ ඔහු සමඟින් තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙක් (02) බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත්ව යන ලදි. ඔවුන් සියළු දෙනාම පීසීආර් පරීක්‍ෂණයකට යොමු කර නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය පිරි නැමීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලද අතර, මෙහිදී බණ්ඩාර හේරත් මහතා විසින් නාවික හමුදාව වෙත ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සිය කෘතඥතාවය පල කර සිටින ලදි.