නාවික හමුදාව නිර්මාණය කල තවත් විෂබීජහරණකුටියක් ගිණිකොන නාවික විධාන මූලස්ථානයේ ස්ථාපිත කෙරේ.

නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් (01) 2020 අප්‍රේල් 19 වන දින ගිණිකොන නාවික විධාන මූලස්ථාන ප්‍රධාන දොරටුවෙහි ස්ථාපිත කරන ලදි.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ විෂබීජහරණය සිදු කල හැකි කුටි බොහොමයක් මේ වන විට දිවයිනේ බොහෝ රෝහල් පරිශ්‍රයන් සහ පොදු ස්ථානයන්හි ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එලෙස නිර්මාණය කරන ලද තවත් එක් විෂබීජහරණ කුටියක් ගිණිකොන නාවික විධාන මූලස්ථාන ප්‍රධාන දොරටුවෙහි ස්ථාපිත කිරීමට ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ උපදෙස් මත විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයින් විසින් 2020 අප්‍රේල් 19 වන දින කටයුතු කරන ලදි.

රටේ උද්ගතවී ඇති වර්ථමාන වාතාවරණය මත විශේෂ සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා නාවික හමුදා සාමාජිකයින් කඳවුරු වලින් බැහැරව රාජකාරි සිදු කර නැවත පැමි‍ණීමේදී ඔවුන් විෂබීජ හරණයකොට කඳවුරු පරිශ්‍රයන් වෙත ඇතුළු කිරීම මගින් සෞඛ්‍යාරක්‍ෂිත වටපිටාවක් කඳවුර පරිශ්‍රයන් තුල පවත්වා ගැනීම නාවික හමුදාවේ නිරෝගිමත් මානව සම්පතක් පවත්වා ගැනීම සඳහා මහත් පිටුවහලක් ගෙන දෙන බැවින් මෙලෙස විෂබීජ හරණ කුටි ස්ථාපනය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරමින් සිටී.