සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2020/1 (JCET) සහතිකපත් ප්‍රදානොත්සවය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව 2020 මාර්තු 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප්‍රදානය අද (2020මාර්තු 30) සිදු කරන ලදි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සංජීව ඩයස් සහභාගී වන ලද අතර, මෙම අවස්ථාවට 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරී, විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී, ඇල්ෆා 1333 එක්සත් ජනපද විශේෂ බලකායේ නාවික පුද්ගලයින්, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ නාවික පුද්ගලයින් හා විශේෂ යාත්‍රා බලඝනයේ නාවික පුද්ගලයින් සහභාගී විය. පාඨමාලාව සඳහා විශේෂ යාත්‍රා බලඝනයට අනුයුක්ත නාවික පුද්ගලයින් 24 දෙනෙක් සහ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයට අනුයුක්ත නාවික පුද්ගලයින් 11 දෙනෙක් වශයෙන් 35 දෙනෙකු සහභාගී වූ අතර, ඇල්ෆා 1333 එක්සත් ජනපද විශේෂ බලකායේ පුහුණුකරුවන් 06 දෙනෙක් පුහුණුවීම් සිදු කිරීමට සහභාගී විය.

තවද, මෙම පාඨමාලාවට අනුයුක්ත නාවික පුද්ගලයින් සති හතරක පුහුණු කාලසීමාවක් තුළදී මානව හිමිකම්, භූමි යුධ නීතිය, උපායශීලී සටන් අණතුරු ආරක්‍ෂණය, ඉලක්කයට වෙඩි තැබිම, නීති විරෝධි මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීම, හමුදාමය තීරණ ගැනීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම යන විෂය හා මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබඳව හැදැරීම සහ ප්‍රායෝගික පුහුණුවීම් වල නිරත වන ලද අතර, එමගින් එක්සත් ජනපද යුධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටද හැකියාව හිමි විය.