ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 මාර්තු 29 වන දින ආරුගම්බේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

රට තුළ පවතින ව්‍යසනකාරී තත්වය පාලනය කිරීම සහ මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක එම ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් තිදෙනෙක් 2020 මාර්තු 29 වන දින ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් නාවික හුමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. යතුරු පැදි තුනකින් (03) ගමන් කරමින් සිටි මෙම පුද්ගලයින් ආරුගම්බේ මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි නාවික පුද්ගලයින් විසින් මෙසේ නාවික හමුදා භාරයට ගත් අතර, මෙම පුද්ගලයින් වයස අවුරුදු 24, 35 සහ 39 වන වයස් වල පසුවන පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. එසේම නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සහ යතුරු පැදි ඉදිරි විමර්ශන සඳහා පොතුවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කර ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා රජය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා සහය දැක්වීම ජනතාවගේ වගකීමක් සහ යුතුකමක්ව ඇති අවස්ථාවක මෙලෙස වගකීම් විරහිතව නොසැළකිලිමත් අන්දමින් සිදුකරන ක්‍රියාවන්‍‍‍‍ වැලැක්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් කටයුතු කරනු ලබයි.