කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු ඇසුරු කර මුහුදු ගිය ධීවරයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදා සහය.

ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙකු ඇසුරු කල නිරෝධායන කටයුතු සඳහා යොමු කල යුතුව ඇති පුද්ගලයෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් හොර රහසේ නැවතත් ගොඩබිමට පැමිණීමට උත්සහ දරණ බවට ත්‍රිකුණාමලය පොලීසිය විසින් නාවික හමුදාව වෙත සිදු කල දැනුම් දීමකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් එම පුද්ගලයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාව සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. පසුව අදාල පුද්ගලයා ගමන්ගත් යාත්‍රාව සහ සැක පිට තවත් යාත්‍රා දෙකක් සමඟ එම යාත්‍රාවන්ගේ ගමන් ගත් පුද්ගලයින් දහ දෙනෙකු (10) ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ඒ අනුව අද (2020 මාර්තු 29) අළුයම් කාලයේදී අදාල යාත්‍රාවන් තුන (03) ගොඩබිමට ගෙන්වා ගන්නා ලදි

පසුව ඔවුන් ගමන් ගත් යාත්‍රාවන් නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණට ලක් කිරීමටද කටයුතු කරන ලදි.මෙසේ නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන්වා ගත් පුද්ගලයින් සියලු දෙනා ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත බාර දෙන ලදි.