කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අද (2020 පෙබරවාරි 29) ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගන්නා ලදි.

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් බවට සැක කරන මත් ද්‍රව්‍ය කිලෝ 74 ග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයකුත්, අයිස් (Methamphetamine) බවට සැක කරන මත් ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයකුත් සමග සැකකරුවන් හය දෙනෙක් සහ ඩිංගි යාත්‍රාවන් දෙකක් (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1750 කට ආසන්න වෙතැයි ගණන් බලා ඇත.

මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දික්වැල්ල, බෙලිඅත්ත, පිළියන්දල, තංගල්ල සහ කුඩා වැල්ල ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 33ත් 53ත් අතර වයසේ පසුවන්නන් බවට වැඩි දුර කරුණු අණාවරණය කරගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ ඩිංගි යාත්‍රා පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදු කරනු ලබයි.