නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර, 2020 මාර්තු 27 දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. එහිදි ඩිංගි යාත්‍රා පහක් (05), නීති විරෝධී දැලක් (01), මසුන් (පරා) කිලෝ 4000 කට අධික ප්‍රමාණයක් සහ ඔවුන් සතුව තිබූ අනෙකුත් ධීවර උපකරණ ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් පුදුමාතලන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා,මසුන් කිලෝ 4000 කට අධික ප්‍රමාණය, නීති විරෝධී දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව්, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.