පානීය ජලය සහ වියලි ආහාර බෙදා දීමේ නාවික හමුදා සමාජ සත්කාරයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 26 සහ 27 යන දෙදින තුළ ආගමික ස්ථාන සහ අසරණ පවුල් වෙනුවෙන් වියලි ආහාර සළාක සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් උතුරු මැද නාවික විධානයට අයත් ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.

රටතුළ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ ජන ජීවිතය පවත්වාගැනීම සඳහා රජයට ශක්තියක් වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායකගේ අධීක්‍ෂණය යටතේ උතුරු මැද නාවික විධානයට අයත් ප්‍රදේශයන් තුළ ඇති ආගමික සිද්ධස්ථානයන් සහ ප්‍රදේශයේ අසරණ පවුල් වෙනුවෙන් පානීය ජලය සහ වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් 2020 මාර්තු 26 සහ 27 දෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී පානීය ජලය ලබා දීම සඳහා නාවික හමුදාව සතු ජංගම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු යන්ත්‍රයක් යොදා ගැනීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදාව සිදු කරන මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමට අපහසු අසරණ පවුල්වල දෛනික කටයුතු පවත්වාගැනීම සඳහා මහත් පිටුවහලක් වේ.