නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන්ට සහ නාවික පවුල් සාමාජිකයන්ට ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි.

විශ්‍රාමික නාවික පුද්ගලයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් ලබාදෙන සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු රටතුළ පවතින ව්‍යසනකාරී තත්වය මත තාවකාලිකව අත්හිටුවීමට නාවික හමුදාව තීරණය කර ඇත.

මේ වන විට ශ්‍රි ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 රෝගී තත්ත්වය මැඩලීම සඳහා රජය විසින් දරණ ජාතික පරිශ්‍රමයෙහි ප්‍රබල කොටස් කරුවෙකු ලෙස ශ්‍රීලංකා නාවික හමුදාවද පහත සඳහන් කාර්යයන් ඉටු කරමින් එම ක්‍රියාදාමය සඳහා සක්‍රීයව දායකවී සිටී.

අ. දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම සහ පවත්වාගෙන යාම.

ආ. රජයේ රෝහල් සඳහා අවශ්‍ය අවස්ථා වල වෛද්‍ය කාර්යය මණ්ඩලය සැපයීම.

ඇ. රජයේ රෝහල්වල කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම සහ සැපයීම.

ඈ. පොදු ස්ථානයන්හී විෂබීජහරණය සිදු කිරීම.

ඉ. ඇඳිරිනීති තත්ත්වයන් හේතු කොටගෙන අපහසුතාවයන්ට පත්ව ඇති සිවිල් ජනතාවට ආහාර පාන ලබාදීම සඳහා ඍජුව දායකවීම.

ඊ. සාමාන්‍ය අවස්ථාවේදී නාවික හමුදාවට පැවරී ඇති ආරක්‍ෂක රාජකාරී සහ ඊට අමතරව පැවරුණු අනෙකුත් රාජකාරීන් ඉටු කිරීම.

ඒ අනුව ඇතිවී තිබෙන ජාතික ආපදා තත්ත්වය යටතේ නාවික හමුදාවට පැවරී ඇති ඉහත රාජකාරීන් ඉටු කිරීමේදී නාවික හමුදා පුද්ගලයන්ගේ මනා සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාම සඳහා අතිශයින් වැදගත්වන නාවික මහ රෝහල ප්‍රශස්ථ තත්ත්වයෙන් ක්‍රියාකාරීව පවත්වාගෙන යාම මෙවැනී තීරණාත්මක අවස්ථාවකදී අතිශයින් වැදගත්වේ. වර්තමානයේ නාවික මහ රෝහල සතුව පවතින සීමිත මානව සම්පත හරහා මෙම අරමුණු ජය ගැනීම සඳහා ඉතා දැඩි ආරක්‍ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට සිදු වී ඇත. යම් හෙයකින් නාවික මහ රෝහල් කාර්යය මණ්ඩලයේ එක් සාමාජිකයෙකුට හෝ මෙම වෛරසය ආසාධනය වුවහොත් වර්තමාන නිරෝධායන රෙගුලාසි වලට අනූව අදාල පුද්ගලයා සමග රාජකාරි කල අනෙකුත් කාර්යය මණ්ඩලය සහ නාවික මහ රෝහල පරිශ්‍රය අනිවාර්යයයෙන් නිරෝධානයට ලක් කල යුතු වේ.

මෙම හේතුව නිසා නාවික හමුදා පරිශ්‍රයන් තුලට වෛරසය ආසාදිත රෝගීන් පැමිණිමට ඇති හැකියාව අවම කිරීමේ අරමුණින් සියලුම නාවික කදවුරු සහ ආයතන තුලට බාහිර පුද්ගලයින්ගේ පැමිණිම සම්පුර්ණයෙන්ම නතර කිරීමට නාවික හමුදාව විසින් තීරණය කර ඇති අතර, එම තීරණයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයන්ට ප්‍රථිකාර ලබා ගත හැකි සියලු පහසුකම් වලින් යුත් එකම රෝහල් සංකීර්ණය වන කොළඹ නාවික මහ රෝහල ද කෙටි කාල සීමාවක් සඳහා සක්‍රීය ‍සේවයේ යෙදෙන නාවික පුද්ගලයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කොට ඇත.

එසේ නමුත් විශ්‍රාමික නාවික පුද්ගලයන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ හදිසි අවස්ථා ප්‍රතිකාර සඳහා පමණක් නාවික රෝහල විවෘතව තැබෙනු ඇති අතර, රජයේ අනෙක් රෝහල් ද හදිසි ප්‍රථිකාර සඳහා පමණක් රෝගීන් ඇතුලත් කර ගැනීම සිදු කරයි. රට තුල ඇතිවී තිබෙන මෙම ව්‍යසනකාරී තත්වය පාලනය වූ වහාම නාවික හමුදා මහ රෝහල නැවතත් විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ පවුල් සාමාජිකයන්ගේ සියලුම ප්‍රතිකාර පෙර පරිදි සිදු කිරීමට අපේක්‍ෂා කරන අතර, මෙම අසීරු කාලසීමාව තුල ඔබගේ හදිසි නොවන වෛද්‍ය අවශ්‍යතා ඔබට ආසන්නතම ඖෂධාලයෙන්/ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන්/ රෝහලෙන් සපුරාගෙන නාවික හමුදාව වෙත මේ මොහොතේ දී පැවරී තිබෙන ජාතික වගකීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.