නාවික හමුදාව උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ශ්‍රීලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 27) උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදි.

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ දිවයිනේ ලේ බැංකු සතු රුධිර සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමේ ජාතික අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ මඟ පෙන්වීම යටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ දී එක් වැඩසටහනක්ද, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරාගේ මග පෙන්වීම යටතේ නැගෙනහිර නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී තවත් ලේ දන්දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදි. මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නාවික පුද්ගලයින් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි

තවද, මෙම වැඩසටහන සඳහා යාපනය ශික්‍ෂණ රෝහල, යාපනය තෙලිප්පලෙයි ග්‍රාමීය රෝහල, මුලතිවු මහ රෝහල සහ ත්‍රිකුණාමලය මූලික රෝහල නියෝජනය කරමින් එම රෝහල්හි කාර්ය මණ්ඩල සහභාගී වී සිටින ලද අතර, මේ සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දෙන ලදි. තවද, රටේ පවතින ජාතික අවශ්‍යතාවයන් වටහා ගනිමින් ඉදිරියේදීද තම දායකත්වය උපරිමයෙන් ලබා දීම සඳහා නාවික හමුදාව සූදානමින් සිටී.