කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 26 වන දින මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්‍රෑම් 400 ක පමණ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය.

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් 2020 මාර්තු 26 වන දින මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී කැලෑව තුළ සඟවා තිබූ සැක සහිත පාර්සලයක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ග්‍රෑම් 400 ක පමණ කේරළ ගංජා සොයා ගැනීමට සමත් විය. මෙම කේරළ ගංජා තොගය මුහුදු මාර්ග ඔස්සේ රට තුළට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවත්, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙලෙස මෙම දූපතේ සඟවා තබන්නට ඇති බවටත් සැක පල කරයි.

තවද, නාවික භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ජයපුරම් පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.